
දික්වැල්ලේ පේමානන්ද නාහිමි පිළිබඳ තොරතුරු බිඳක්

අතිපූජ්‍ය දික්වැල්ලේ පේමානන්ද නාහිමි
රුහුණු පුරවරයේ අම්බල නම් ග්‍රාමයේ
ක්‍රිස්තු වර්ෂ 1884 සැප්තැම්බර් මස 27 වැනිදා
මෙලොව එළිය දුටු මේ කුමරා
නමින් ඕදිරිස් නම් විය. මේ කුල දරුවාගේ
මෑණියන් සමීරා උපාසිකාව වූ අතර පියාණන්
වූයේ සබෝ උපාසකතුමා ය.සිය දෙමාපියන්
යටතේ වැඩෙමින් ඉගෙනුමෙහි යෙදුණ
මේ කුල දරුවා කුඩා කල දීම බුදු දහම කෙරෙහි
දැඩි ඇල්මක් දැක්වීය.දෙමාපියන්ගෙන් උරුමව
පැවත එන ශාසන කතාව මේ ඕදිරිස් කුමරාගේ ද නොඅඩුව දක්නට ලැබුණි.
සොදුරු ළමාවිය ගෙවා දමා තාරුණ්‍යයට එළඹෙමින් සිටි මේ ඕදිරිස් කුමරුවා තමාගේ මයිලණු කෙනෙක් වූ දික්වැල්ලේ ජිනානන්ද හිමිපාණන් ගේ ප්‍රසන්න සංවරතාවයට පැහැදී සිටියේය.
අනතුරුව මේ තරුණයා නොයෙකුත් ගම් නියම්ගම් පසුකරමින් ජිනානන්ද හිමියන් සමග ඓතිහාසික පානදුර නගරයට පැමිණියේ ය. මේ වන විට පාණදුරේ වෑකඩ බෝධිරුක්ඛාරාමයේ (වෑකඩ පන්සල) අධිපතිව වැඩ විසූවේ වෑකඩ සිරි සංඝානන්ද හිමිපාණන් ය.උන්වහන්සේගේ ඇසුරට එක්වූ ඕදිරිස් තරුණයා ජීවිතයේ කටුක බව හොඳින් තේරුම් ගත්තේ ය.
ඒ දක්වා අනගාරික ජීවිතයක් ගත කළ මේ තරුණයාට පැවිදි වීමට දැඩි කැමැත්තක් ඇති විය. මේ කැමැත්ත, ඕනෑකම උනන්දුව මල්ඵල ගන්වමින් ක්‍රිස්තු වර්ෂ 1905 වෙසක් මස 7 වැනිදා වෑකඩ සංඝානන්ද හිමි ඇඳුරු කොට දික්වැල්ලේ පේමානන්ද නමින් ඕදිරිස් තරුණයා ශාසනයට ඇතුළත් විය.
එදා පටන් නොපමාව බණ දහම් ප්‍රගුණ කරමින් වැඩ විසූ පේමානන්ද හිමියෝ ක්‍රිස්තු වර්ෂ 1906 වෙසක් මස හත් වැනිදා කළුතර අශෝකාරාම අධිපති ව වැඩ විසූ සිරි සද්ධම්මවංසාලංකාර කළුතර සිරිසුමන තිස්ස මහානායක හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා සීලයෙහි පිහිට වූ සේක.
පසුව කෙසෙල් වත්ත සුභද්‍රාරාමය නේවාසිකව වැඩ සිටිමින් ඉගෙනීම් කටයුතු මෙන්ම ශාසනික කටයුතුවල ද නිරත විය. ඇඳුරු මාහිමියන්ගේ ඇරයුමින් වෑකඩ බැන්ඩියේ විවේකානන්දාරාමයට වැඩම කළ පේමානන්ද හිමියෝ එහි නේවාසික බව ලැබූ සේක. එවකට බැන්ඩිය පන්සල වන ලැහැබක් ව පැවැති අතර කටු ලැහැබ්,වල්ගොමු පිරි සර්පයන් සිටින ඉතා දුෂ්කර බිමක් විය. අදත් පවතින ගොඩපර රුකත්,ඊට යාබදව තිබූ කටුමැටි කුටියත් විහාරස්ථානයේ ප්‍රධාන අංගයක් විය. පුජ්‍ය වෑකඩ සිරිඝනානන්ද හිමියන්ගේ අපවත් වීමෙන් පසුව විවේකානන්දාරාමයේ විහාරදිපති බවට පේමානන්ද හිමියෝ පත්වුහ. උදය දහවල පිඬුසිඟා වඩිමින් සුභරථා, සන්තුට්ඨිතා, අල්පේච්ඡතාදී ගුණයෙන් හෙබි පිඬුසිඟා දිවිගෙවූ තෙරුන් වහන්සේ නමකි. ඉතා කටුක දිවියක් ගත කළ උන් වහන්සේ අවට සිටින දායක පින්වතුන් ගේ උදව් ඇතිව බැන්ඩිය පන්සල අංග සම්පූර්ණ විහාරස්ථානයක් ලෙස ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුල පිරූහ. එහි පළමු පියවර ලෙස විහාරස්ථානයට පැමිණෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කළහ. අනතුරුව දුටුවන්ගේ නෙත් පිනවන අලංකාර බුදු මැදුරක් විහාරස්ථානයේ ඉදි කිරීමට කටයුතු කළහ.
දිනෙන් දින බැන්ඩිය පන්සල දියුණුව කරා ගෙන ගිය අකලංක වූ තපෝ ගුණයෙන් පිරි ශාසන මාමකත්වයෙන් හෙබි පේමානන්ද හිමියෝ ශාසනයට වැඩදායක සිසුන් පිරිසක් ඇති කිරීමට ද අමතක නොකලහ.උන්වහන්සේලා අද වන විට දිවයිනේ විවිධ පළාත් වල ශාසන සේවයේ නිරතව සිටිති.උන්වහන්සේගේ අවසාන කාලයේදී විහාරස්ථානයේ අනාගතය ගැන සලකා තම ශිෂ්‍ය පිරිස හා දායක පිරිස් සමග එක්තු වී විහාරස්ථානයේ දියුණුව සඳහා විහාරස්ථ දායක සභාවක් ද පිහිට වූ සේක. අවසාන කාලයේදී තම ශිෂ්‍ය කෝට්ටවත්තේ සුධීරානන්ද නායක හිමිපාණන් වහන්සේගේ උපස්ථාන ලබමින් මහත් ප්‍රීතියෙන් හා විවේක සුවයෙන් කල් ගෙවූ පේමානන්ද හිමියෝ , බැන්ඩිය පන්සල අද පවතින අන්දමට පත් කිරීමට දිවා රෑ නොබලා වෙහෙස වීමෙන් කටයුතු කළහ.
මෙසේ උදාරතර ශාසනික මෙහෙවරක නියැළුණු පේමානන්ද හිමියෝ පුරා වසර 90 ක් ආයු වළඳා හොඳ සිහි නුවණින් යුතුව 1975 පෙබරවාරි මස 5 වැනි දා අපවත් වී වදාළ සේක.
අප දික්වැල්ලේ පේමානන්ද මා හිමිපාණන්ට අජරාමර වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.


